පසුගිය පෙබරවාරි මාසයේදී 1.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය, මෙම මාර්තු මාසය අවසන් වන විට 2% දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරයි. පවතින ආර්ථික සහ දේශපාලනික වටපිටාව හමුවේ, වසරේ දෙවන කාර්තුව (ජුනි) අවසානය වන විට උද්ධමනය රජයේ ඉලක්කගත මට්ටම වන 5% දක්වා ළඟා වනු ඇති බව මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
මුල් සැලසුම්වලට අනුව මෙම 5% උද්ධමන මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කළේ වසරේ තුන්වන කාර්තුවේදී වුවද, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය ගැටුම් හේතුවෙන් එම ඉලක්කයට කලින්ම ළඟා වීමට සිදුව ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ නාවික ගමන් මාර්ගවල පවතින අවහිරතා හේතුවෙන් ආනයනික භාණ්ඩවල පිරිවැය ඉහළ යාම මෙලෙස උද්ධමනය වේගයෙන් ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන සාධක වේ. කෙසේ වෙතත්, උද්ධමනය පාලනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව සූදානමින් සිටින බව ද වාර්තා වේ.













