ජාතික ගීතය වන “වන්දේ මාතරම්” ගායනය සහ වාදනය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය නිකුත් කර ඇති උපදෙස් මාලාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (2026 මාර්තු 25) ප්‍රතික්ෂේප කළේය. අගවිනිසුරු සූරිය කාන්ත් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ජනවාරි 28 වැනිදා නිකුත් කළ මෙම චක්‍රලේඛය හුදෙක් “උපදේශාත්මක” (Advisory) එකක් පමණක් වන අතර එය අනිවාර්ය නීතිමය බැඳීමක් නොවන බවයි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජේ හෙග්ඩේගෙන් අධිකරණය විමසා සිටියේ මෙම චක්‍රලේඛය අනුගමනය නොකිරීම නිසා කිසිවකුට දඬුවම් පමුණුවා ඇති බවට සාක්ෂි පවතින්නේ ද යන්නයි. මෙහි කිසිදු අනිවාර්ය නීතියක් පනවා නොමැති බැවින් සහ වෙනස් කොට සැලකීමක් පිළිබඳ පදනම් විරහිත බියක් (Vague apprehension) මත පෙත්සම ඉදිරිපත් කර ඇති බැවින් එය “කාලෝචිත නොවන” (Premature) එකක් ලෙස හඳුන්වමින් අධිකරණය විසින් නිශ්ප්‍රභ කරන ලදී.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ මෙම චක්‍රලේඛය මගින් ජාතික ගීතයට ගරු කිරීම සහ එය ගායනය කිරීම පිළිබඳව උපදෙස් ලබා දී තිබුණද, එය ගායනය නොකරන පුද්ගලයින්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ දඬුවමක් නියම කර නොමැති බව අධිකරණය අවධාරණය කළේය. මුහම්මද් සයීඩ් නූරි විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම හරහා චෝදනා කර තිබුණේ මෙමගින් යම් ආගමික හෝ පෞද්ගලික නිදහසට බාධාවක් විය හැකි බවයි.













