මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සැපයුම් දාමය බිඳ දැමීම සඳහා රජය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් හමුවේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත්ව ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අනාවරණය කළේය. ත්‍රිකුණාමලයේ පැවැති “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේදී එහි සැපයුම (Supply) සහ ඉල්ලුම (Demand) යන අංශ දෙකම පාලනය කළ යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මීට පෙර පැවැති රජයන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඉහළ පුරුක්වලට අත තැබීමට මැලි වූ බවට චෝදනා කළේය. එහෙත් වත්මන් රජය එම ජාලය මුලිනුපුටා දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්දුනීසියාව, නේපාලනය සහ පාකිස්තානය වැනි රටවලට ගොස් මෙම ප්‍රබල සැපයුම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ අපරාධකරුවන් සිදුකරන පාපොච්චාරණ හමුවේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් පිරිස් මේ වන විට කලබලයට පත්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මුහුදු මාර්ගයෙන් සහ ගුවන් තොටුපොළ හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬපැවැත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ උපරිම ශක්තිය යොදවා ඇති අතර, තරුණ පරපුර මෙම උවදුරෙන් මුදාගැනීම සඳහා ඉල්ලුම අවහිර කිරීමේ වැඩපිළිවෙළ ද සමගාමීව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













