ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය සමනය කිරීම සඳහා පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත් වී සිටියද, හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය දැඩි කරමින් කරච්චි බලා යාත්‍රා කළ බහාලුම් නෞකාවක් හරවා යැවීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ඊයේ (මාර්තු 24) රාත්‍රියේ පියවර ගෙන තිබේ. අද (2026 මාර්තු 25) දිනැති පුවත් වාර්තාවලට අනුව ‘සෙලෙන්’ (SELEN) නම් සෙන්ට් කිට්ස් සහ නෙවිස් රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවට අවසර නොමැතිව සමුද්‍ර සන්ධිය තරණය කිරීමට ඉඩ ලබා දී නොමැත.
ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටැන්ග්සිරි (Alireza Tangsiri) ප්‍රකාශ කර ඇත්තේ නීත්‍යානුකූල ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම සහ පූර්ව අවසරය ලබා නොගැනීම හේතුවෙන් මෙම නෞකාවට මෙලෙස ආපසු හැරී යන ලෙස නියෝග කළ බවයි. මෙම ජල තීරය හරහා ගමන් කරන ඕනෑම නෞකාවක් ඉරාන සමුද්‍රීය අධිකාරිය සමඟ පූර්ණ සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. නාවික ගමන් පථ නිරීක්ෂණ දත්තවලට අනුව මෙම නෞකාව දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා (Sharjah) වෙරළට ඔබ්බෙන් නුදුරු මුහුදේ නවතා තබා ඇති බව වාර්තා වේ.
යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු, ඊශ්‍රායල හෝ බටහිර මිත්‍ර පාර්ශවීය නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. අනෙකුත් “සතුරු නොවන” නෞකාවලට ද ගමන් කළ හැක්කේ ඉරාන රජයේ විශේෂ අවසරය මත පමණි. පාකිස්ථානය සාම සාකච්ඡා සඳහා උත්සාහ කරමින් සිටින මොහොතක ඔවුන්ගේ වරායක් බලා පැමිණි නෞකාවකට මෙලෙස බාධා කිරීම හරහා ඉරානය පෙන්වා දෙන්නේ කලාපීය නාවික බලය පිළිබඳව තමන් දැඩි ස්ථාවරයක පසුවන බවයි.














