මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර නාවික ගමන් මාර්ග අවහිර වීම මත, ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී රථවාහන මෙරට වරායන්හි තාවකාලිකව රඳවා තැබීමේ පුවතක් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඩුබායි රාජ්‍යය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ලැම්බෝගිනි (Lamborghini), රෝල්ස් රොයිස් (Rolls-Royce) සහ ෆෙරාරි (Ferrari) වැනි අති සුඛෝපභෝගී රථවාහන 50කට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල ගොඩබා ඇති බව එම වාර්තාවේ දැක්වේ.
පවතින යුද තත්ත්වය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම සහ නාවික ගමන් මාර්ගවල ඇති අවදානම මත, ඩුබායි වරායට ළඟා වීමට නොහැකි වූ නෞකා මෙලෙස සිය භාණ්ඩ තොග විකල්ප වරායන් වෙත යොමු කර ඇත. තවද, ජපානය සහ දකුණු කොරියාවේ සිට මැදපෙරදිගට අපනයනය කරන ලද තවත් පාවිච්චි කළ රථවාහන 500කට අධික ප්‍රමාණයක් හම්බන්තොට වරායේදී ගොඩබා ඇත්තේ ඩුබායිහි පවතින දැඩි තදබදය සහ යුද අවදානම හේතුවෙනි.
ජපන් සහ දකුණු කොරියානු අපනයනකරුවන් පෙන්වා දෙන්නේ නාවික ගමන් මාර්ග වෙනස් වීම සහ ප්‍රමාද වීම් හේතුවෙන් ගබඩා ගාස්තු සහ ප්‍රවාහන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් සිය භාණ්ඩ තොග දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආසන්නයේ රඳවා තබා ගනිමින් “බලා සිටීමේ” (Wait-and-hold) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද වාර්තා වේ.














