පවතින අධික ජීවන වියදම හමුවේ දෛනික ගමන් බිමන් සඳහා දුම්රිය ප්‍රවාහනය භාවිත කරන ජනතාව සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, කිසිසේත්ම දුම්රිය ගාස්තු සංශෝධනය නොකරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය (SLRSMU) රජයෙන් ඉල්ලීමක් කරයි. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ යාම මත සෙසු ප්‍රවාහන ගාස්තු සහ සේවා ගාස්තු වැඩි වී ඇති මොහොතක දුම්රිය ගාස්තු ද ඉහළ දැමීම ජනතාවට දැරිය නොහැකි බරක් වනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, බස් ගාස්තු ඉහළ යාම නිසා සහනදායී ප්‍රවාහන ක්‍රමයක් ලෙස දුම්රිය සේවය කෙරෙහි මහජනතාව විශාල විශ්වාසයක් තබා ඇති බවයි. විශේෂයෙන්ම උදෑසන සහ සවස් කාලයේ කොළඹ කොටුව ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථානවල මගී තදබදය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බැවින්, ගාස්තු වැඩි කරනවා වෙනුවට සේවාවන් පුළුල් කර පහසුකම් දියුණු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. දුම්රිය සේවය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති නමුත් මෙතෙක් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.












