වර්තමාන ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ආරම්භ කර ඇති “පච මදිවට හොරු – අනුරට බෑ” විරෝධතා රැස්වීම් මාලාව හමුවේ රජය මේ වන විට දැඩි බියට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී බලවේගයේ කැඳුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා ප්‍රකාශ කරයි. අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ බලයට පත්වීමට පෙර විදුලි බිල සියයට 33කින් අඩු කරන බවටත්, අමතර බදු ඉවත් කරන බවටත් ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු සියල්ල මේ වන විට අසත්‍ය ප්‍රකාශ හෙවත් “පච” බවට පත්ව ඇති බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට ජාත්‍යන්තර දේශපාලනය හැසිරවීමට හෝ රට පාලනය කිරීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්දක් නොමැති බව පෙන්වා දුන් ඔහු, රජය මේ වන විටත් අසාර්ථක වී ඇති බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පොදු විපක්ෂයක් ගොඩනැගීමට සෙසු පක්ෂ නායකයන් කැමැත්ත පළ කර ඇති බවත්, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ද උපරිමයෙන් හිමිවන බවත් පාදුක්ක මහතා මෙහිදී අනාවරණය කළේය. ඉරානයෙන් ඉන්ධන ලබාගන්නා බවට පවසන ප්‍රකාශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වන ලෙස රජයට අභියෝග කළ ඔහු, ඉදිරි ජනාධිපතිවරණය සඳහා බලශක්ති ප්‍රතිපත්තියක් සකස් කිරීමට සමගි ජන බලවේගය දැනටමත් කමිටුවක් පත් කර ඇති බව ද සඳහන් කළේය. රට භාරගෙන ජනතාවට සහන සැලසීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ වන විටත් සූදානමින් සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.












