ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමකදී පුද්ගලයන් 27,994 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඉන් 493 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ඊයේ (24) දින සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාශ මට්ටමින් මෙම මෙහෙයුම් දියත් කර තිබුණි. මෙහිදී රථවාහන වැරදි සහ අනෙකුත් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,256 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 171 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 67 දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබේ.
මීට අමතරව, අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙකු සහ අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයන් 140 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී කොටු කර ගැනීමට පොලිසිය සමත් වී ඇත. මෑත කාලීනව රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ යාම පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මෙලෙස දැඩි පරීක්ෂා කිරීම් සිදු කරන බවත්, ඉදිරියේදී ද මෙවැනි විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේය.














