හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය සඳහා ඉරානය පනවා ඇති දැඩි නව කොන්දේසි මධ්‍යයේ, අද (2026 මාර්තු 25) දිනය තුළ එම මුහුදු මාර්ගය භාවිතා කර ඇත්තේ චීනයට අයත් ‘Egret’ නැමති තෙල් ප්‍රවාහන නෞකාව පමණක් බව විදෙස් මාර්තා වාර්තා කරයි. මෙම නෞකාව සුපුරුදු ජාත්‍යන්තර නෞකා මාර්ගයෙන් බැහැරව ඉරාන වෙරළට ඉතා සමීපව ගමන් කර ඇති අතර, එය ඉරාන බලධාරීන් සමඟ කල්තියා ඇති කරගත් සම්බන්ධීකරණයක් මත සිදු වූවක් බව සඳහන් වේ.
තමන් සමඟ යුද්ධයට සම්බන්ධ නොවන සහ සතුරු නොවන රටවලට අයත් නෞකාවලට පමණක් මෙම මාර්ගය විවෘත බව පවසන ඉරානය, ඒ සඳහා ඉරාන නාවික හමුදාවේ පූර්ව අනුමැතිය සහ විශේෂ කොන්දේසිවලට යටත් විය යුතු බව අවධාරණය කර ඇත. ඊයේ (මාර්තු 24) දිනයේදී චීනය, ඉන්දියාව සහ පැනමාව යන රටවලට අයත් නෞකා 6ක් මෙම මාර්ගය පසු කර තිබුණද, අද දිනයේ පවතින දැඩි යුදමය උණුසුම හමුවේ නෞකා ගමනාගමනය සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
මෙම තත්ත්වය ගෝලීය තෙල් සැපයුමට සෘජුවම බලපාන අතර, රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයාගේ හෙට දින ශ්‍රී ලංකා සංචාරය හරහා මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේ විකල්ප මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ද මෙය තීරණාත්මක සාධකයක් වනු ඇත.














