මාදම්පේ – සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක අද (2026 මාර්තු 25) දහවල් 3.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ. පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඉඩමේ තිබූ පොල් ගස් විශාල ප්‍රමාණයකට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම කැඳවා ඇති අතර, මාදම්පේ පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාදම්පේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම සහ වියළි කාලගුණය හේතුවෙන් මෙවැනි ගිනි ගැනීම් සිදුවීමේ අවදානමක් පවතින බැවින්, ගිනි පත්තු කිරීමේදී සහ අපද්‍රව්‍ය පිළිස්සීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම පොල් වගාවන් ආශ්‍රිතව වියළි පොල් අතු සහ තණකොළ ඉක්මනින් ගිනි ගන්නා බැවින් වගාකරුවන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.














