මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී ඇතිවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින බලශක්ති සංචිත කළමනාකරණය සඳහා රජය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව මගින් ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්ම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇත.
නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද (Carpooling) භාවිතා කළ යුතු අතර, රැස්වීම් සහ සාකච්ඡා සඳහා Zoom, Google Meet වැනි තාක්ෂණික ක්‍රමවේද අනිවාර්ය කර තිබේ. සියලුම ලිපිලේඛන හුවමාරුව විද්‍යුත් තැපෑල හෝ WhatsApp මගින් සිදු කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතුය. රජය පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශයේ පවතින වාහන 92,000 මගින් දිනකට ඉන්ධන ලීටරය බැගින් ඉතිරි කරගතහොත් වාර්ෂිකව ඉන්ධන ලීටර් මිලියන 24 ක් පමණ ඉතිරි කරගත හැකි බවයි. සෞඛ්‍ය සහ ආරක්ෂක වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා අතිරේක ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට ද මෙහිදී උපදෙස් දී ඇත.
ස්වභාවික ආලෝකය උපරිමයෙන් භාවිතා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය සහ වායු සමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය කර තිබේ. දිනකට පැය 1-2 ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කළ යුතු අතර, රාත්‍රී 9.00 න් පසු වෙළඳ දැන්වීම් පුවරු අක්‍රීය කිරීමට ද නියමිතය. විදුලි සෝපාන භාවිතය අවම කර පියගැටපෙළ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු අතර, තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් සේවකයින් කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද (Online) හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. සෑම ආයතනයක්ම ඉන්ධන සහ විදුලිය ඉතිරි කිරීම පිළිබඳ විශේෂ අධීක්ෂණ වාර්තාවක් පවත්වාගෙන යාම ද අනිවාර්ය වේ.














