මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය සහ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයේ කිසිදු අඩුවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (2026 මාර්තු 25) ප්‍රකාශ කළේය. මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ලෝක දේශපාලනික අස්ථාවරත්වයන් මෙරටට ලැබෙන විදේශ විනිමය ගලා ඒමට මෙතෙක් බාධාවක් වී නොමැති බවයි.
විශේෂයෙන්ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මහා පරිමාණයෙන් සේවයෙන් ඉවත් කිරීමක් හෝ ඔවුන් මෙරටට එවන මුදල් ප්‍රමාණයේ ක්ෂණික පහත වැටීමක් නිරීක්ෂණය නොවන බව ද අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දැනට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා ස්ථාවර මට්ටමක පවතින බැවින්, පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික අවශ්‍යතාවක් පැන නොනගින බව මහ බැංකුව තවදුරටත් විශ්වාසය පළ කරයි.














