බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුවන දෛනික මූල්‍ය පාඩුව පියවා ගැනීමට නම් මුළු රටම එකවර විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් නිවා දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කරයි. බලශක්ති ක්ෂේත්‍රයේ පවතින අර්බුදය හමුවේ සිදුවන මෙම නාස්තිය ජනතාව මත පැටවී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ පවතින දැඩි බලශක්ති අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රධාන නගරවල විදුලි පහන් නිවා දැමීමට පියවර ගන්නා ලෙසයි. එසේම නිවෙස් තුළද හැකිතාක් විදුලිය පිරිමැසීමට කටයුතු කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවකදී එක් විදුලි බුබුලක් පමණක් දැල්වීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙරට බලශක්ති උත්පාදනය සඳහා ගල්අඟුරු සැපයුම අඩාල වීම සහ පවතින වියළි කාලගුණය මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වේ.














