ප්‍රකට ‘Euphoria’ සහ ‘White Lotus’ ටෙලි නාට්‍ය මාලාවල රංගනයෙන් දායක වන අමෙරිකානු නිළි සිඩ්නි ස්වීනි, විදේශගතව සේවය කරන තම සහෝදරයා පිළිබඳව Instagram හි තැබූ සංවේදී සටහනක් හේතුවෙන් ඔහු මේ වන විට ඉරාන දේශසීමා ආසන්නයේ සේවය කරන්නේද යන්න පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයක් යොමු වී තිබේ. ඇය සිය සටහනෙහි දක්වා තිබුණේ විදේශගතව සේවය කරන සිය සහෝදරයාගෙන් ලැබෙන ඇමතුම් තමන්ව නිතරම සතුටු කරන බවත්, විදේශයන්හි සේවය කරන සියලුම සේවා සාමාජිකයන් පිළිබඳව තමන් නිරන්තරයෙන් සිතන බවත්ය. සිඩ්නිගේ සහෝදරයා වන ට්‍රෙන්ට් ස්වීනි (Trent Sweeney) අමෙරිකානු ගුවන් හමුදාවේ (US Air Force) සේවය කරන නිලධාරියෙකු වන අතර ඔහු 2020 වසරේදී ගුවන් හමුදාවට එක්වී 2025 වසරේදී ‘ස්ටාෆ් සර්ජන්ට්’ ධුරයට උසස් කරනු ලැබීය.
ඔහු සේවය කරන්නේ කුමන රටකද යන්න සිඩ්නි විසින් නිල වශයෙන් හෙළි කර නොමැති වුවද, වර්තමානයේ අමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය තත්ත්වය සහ අමෙරිකානු හමුදා මැදපෙරදිගට අනුයුක්ත කිරීම හේතුවෙන් ඔහු ඉරාන දේශසීමා ආසන්නයේ සිටින බවට ප්‍රේක්ෂකයින් අනුමාන කරති. හමුදා සේවයෙන් බැහැරව ඔහු ‘PeanutButterPaul’ යන නමින් ප්‍රකට වීඩියෝ ගේම් ක්‍රීඩා කරන (Streamer) අයෙකු ලෙසද ප්‍රසිද්ධය. සිඩ්නි සහ ට්‍රෙන්ට් කුඩා කල සිටම ඉතා සමීපව හැදී වැඩුණු සහෝදර බැඳීමක් පවතින අතර ඇය සිය සහෝදරයාගේ ජයග්‍රහණ නිරන්තරයෙන් ඇගයීමට ලක් කරයි. මීට පෙර 2022 වසරේදී ඔවුන්ගේ මවගේ උපන්දින සාදයේදී ඇතැම් අමුත්තන් ‘MAGA’ තොප්පි වලට සමාන තොප්පි පැළඳ සිටි ඡායාරූප පළවීමත් සමඟ මෙම සහෝදර දෙපල පිළිබඳව දේශපාලනික වශයෙන් ද දැඩි කතාබහක් නිර්මාණය විය.














