අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය වෙත “නිරය මුදා හැරීමට” (Unleash hell) සූදානම් බවට ධවල මන්දිරය අද (2026 මාර්තු 26) දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ප්‍රකාශ කළේ ඉරානය සිය පරාජය පිළිගෙන සාම යෝජනා පිළිගැනීමට අපොහොසත් වුවහොත් මීට පෙර කිසිදා නොවූ විරූ ප්‍රබල ප්‍රහාරයකට ඔවුන් මුහුණ දිය යුතු බවයි. අමෙරිකාව පවසන්නේ තමන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බව වුවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගච් රජයේ රූපවාහිනිය ඔස්සේ අවධාරණය කළේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට තම රටට අදහසක් නොමැති බවයි.
පකිස්ථානය මැදිහත්කරු ලෙස කටයුතු කරමින් අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු 15කින් යුත් සාම සැලැස්ම ඉරාන ජ්‍යෙෂ්ඨ නායකයින් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ මැදිහත්කාර රටවල් හරහා ලැබුණු යෝජනා තමන් දැනට සමාලෝචනය කරමින් සිටින නමුත් ඉරානයේ වත්මන් ප්‍රතිපත්තිය වන්නේ අඛණ්ඩව ප්‍රතිරෝධය දැක්වීම (Resistance) බවයි. ඉරානය මෙතෙක් අමෙරිකානු යෝජනා සඳහා නිල ලිඛිත ප්‍රතිචාරයක් ලබා දී නොමැති අතර දෙරට අතර පවතින මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටුම තවදුරටත් උත්සන්න වී තිබේ.
අමෙරිකානු බලධාරීන් පවසන පරිදි ඉරානය යුදමය වශයෙන් පරාජය වී ඇති බව වටහා නොගන්නේ නම් ජනාධිපති ට්‍රම්ප් සිය උපරිම යුද ශක්තිය භාවිතා කරනු ඇත. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මතුව ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම තත්ත්වය සමනය කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටිති. ඉරානය සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ කලාපය තුළ තීරණාත්මක යුදමය හැරවුම් ලක්ෂයක් සනිටුහන් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














