පන්ජාබ් නැෂනල් බැංකුවට රුපියල් කෝටි 6,498ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රකට දියමන්ති ව්‍යාපාරික නීිරව් මෝඩි (Nirav Modi) විසින් තමන්ව ඉන්දියාවට උදර්පණය (Extradition) කිරීමට එරෙහිව ඉදිරිපත් කළ නවතම අභියාචනය බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් ඊයේ (2026 මාර්තු 25) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 2019 වසරේ සිට ලන්ඩනයේ බන්ධනාගාරගතව සිටින ඔහු, ඉන්දියාවේ විමර්ශන අංශ තමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අසාධාරණ ලෙස කටයුතු කරනු ඇතැයි පවසමින් මෙම නඩුව යළි විවෘත කරන ලෙස ඉල්ලා තිබුණි.
බ්‍රිතාන්‍ය අධිකරණයේ විනිසුරු මඩුල්ල සිය පිටු 18ක තීන්දුව මගින් ප්‍රකාශ කළේ ඉන්දීය රජය විසින් ලබා දී ඇති සහතික කිරීම් (Assurances) ඉතා පැහැදිලි සහ විශ්වාසදායක ඒවා බවයි. විශේෂයෙන්ම ඔහු ඉන්දියාවට ගෙන්වා ගැනීමෙන් පසු විමර්ශන ආයතන විසින් ඔහුට හිංසා පීඩා නොකරන බවටත්, නීත්‍යානුකූල පියවර පමණක් ගන්නා බවටත් ඉන්දියාව ලබා දුන් පොරොන්දු අධිකරණය පිළිගෙන තිබේ. මෙම නඩුව යළි විවෘත කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බව ද විනිසුරුවරු පෙන්වා දුන්හ.
ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) පවසන්නේ මෙය තමන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, නීිරව් මෝඩි හැකි ඉක්මනින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත්ය. බ්‍රිතාන්‍යයේ ක්‍රවුන් ප්‍රොසිකියුෂන් සර්විස් (CPS) ආයතනය සහ ඉන්දීය විමර්ශන නිලධාරීන් එක්ව පසුගිය සතියේ ලන්ඩන් නුවරදී මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි අතර මෙම තීන්දුවත් සමඟ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පැවති ප්‍රධාන නීතිමය බාධාවක් ඉවත් වී තිබේ.














