රුපියල් දස කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික වීථි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාව හරහා පැමිණි ගුවන් යානයකින් අලුයම 5.20ට මෙරටට ළඟා වී ඇති අතර, ගුවන්තොටුපොළේ “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටතට යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ගේ සැකයට බඳුන් වී ඇත.
බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 25 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් සන්තකයේ තිබූ ගමන් මලු 4ක ව්‍යාජ පතුල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරන ලද “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 476ක ප්‍රමාණයක් සොයා ගැනුණි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු රෙදි අලෙවිසැළක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා රියදුරෙකු ලෙස සේවය කරන්නෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.














