ගෝලීය ආර්ථික බලපෑම් සහ බාහිර කම්පන හමුවේ ශ්‍රී ලංකාව පසුගිය වසරවලට වඩා ස්ථාවර සහ ශක්තිමත් මට්ටමක පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඉන් එල්ල වන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව අවධාරණය කළේය. එහිදී තීරණය වූයේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමටයි.
මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ 2026 පෙබරවාරි මාසය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ආර්ථික අර්බුද සමයේ පැවැති තත්ත්වයට වඩා ඉතා සාධනීය වර්ධනයක් බවයි. පෙබරවාරි මාසයේදී උද්ධමනය 1.6%ක් වැනි පහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් එල්ල වන පීඩනය දරා ගැනීමට මෙරටට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය. 2025 වසරේදී 5.0%ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, 2026 වසරේ දෙවන කාර්තුව වන විට සිය ඉලක්කගත උද්ධමන මට්ටම කරා ළඟා වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රුපියල මත යම් අවප්‍රමාණ වීමේ පීඩනයක් පැවතුණද, සංචාරක ඉපැයීම් සහ ප්‍රේෂණ ඉහළ යාම නිසා විදේශීය අංශය යහපත් මට්ටමක පවතින බව ද මෙහිදී අනාවරණය විය.














