ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයට පත් හැරී පෝටර් (Harry Potter) කෘති මාලාව ඇසුරින් නිෂ්පාදනය වන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය (Teaser Trailer) අන්තර්ජාලයට නිකුත් කර තිබේ. HBO Max ස්ට්‍රීමින් සේවාව හරහා 2026 දෙසැම්බර් මාසයේදී විකාශනය වීමට නියමිත මෙහි පළමු කතා මාලාව, J.K. Rowling ගේ “Harry Potter and the Philosopher’s Stone” කෘතිය පදනම් කර ගනිමින් වඩාත් විස්තරාත්මකව නිර්මාණය කර ඇත.
මෙම නව නිර්මාණයේ හැරී පෝටර් ලෙස ඩොමිනික් මැක්ලොක්ලින් (Dominic McLaughlin) ද, හර්මියෝන් ලෙස ඇරබෙලා ස්ටැන්ටන් (Arabella Stanton) සහ රොන් ලෙස ඇලෙස්ටෙයාර් ස්ටවුට් (Alastair Stout) රංගනයෙන් දායක වේ. ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා නළු නිළියන් 32,000ක් අතරින් මොවුන් තෝරාගෙන ඇති අතර, හිටපු හැරී පෝටර් නළු ඩැනියෙල් රැඩ්ක්ලිෆ් ද මොවුන් කෙරෙහි සිය විශ්වාසය පළ කර තිබේ. මීට අමතරව ජෝන් ලිත්ගෝ (ඩම්බල්ඩෝර්) සහ ජැනට් මැක්ටියර් (මැක්ගොනගල්) වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙයට එක්ව සිටිති.
කෙසේ වෙතත්, සෙවරස් ස්නේප්ගේ (Severus Snape) චරිතය සඳහා කළු ජාතික නළුවෙකු වන පාපා එසියේඩු (Paapa Essiedu) තෝරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් අතර දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඔහු කෘතියේ විස්තර කර ඇති පෙනුමට පරස්පර බව පවසමින් ඇතැම් පාඨකයන් විරෝධය පළ කර ඇති අතර, ඔහුට මරණ තර්ජන පවා එල්ල වී ඇති බව වාර්තා වේ. වොල්ඩර්මෝට්ගේ චරිතය කවුරුන් රඟපාන්නේද යන්න ස්ටූඩියෝව විසින් තවමත් රහසිගතව තබා ඇත.














