ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (25) කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී පවත්වා ඇති අතර දෙරටේ ජනතාව අතර පවතින සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් දේශපාලන තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම වැනි තීරණාත්මක කරුණු පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති පසුබිමක සිදුවූ මෙම හමුව ඉතා වැදගත් වන අතර ඉරාන රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින් දෙරටේ පොදු යහපත උදෙසා ඉදිරියේදී කටයුතු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇත. පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉරානය ගනු ලබන තීරණ කලාපීය රටවලට බලපාන ආකාරය සහ ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව තානාපතිවරයා මෙහිදී සිය ස්තූතිය පළ කර ඇති බව ද වාර්තා වේ.














