පෘතුගාල හමුදාව සිය අවි ආයුධ නවීකරණය කිරීමේ සහ නවෝත්පාදන වැඩපිළිවෙළක් යටතේ නේටෝ සංවිධානයට අයත් රටවල් සමඟ එක්ව “ප්‍රහාරක ඩ්‍රෝන” අත්හදා බැලීමේ විශේෂ යුද අභ්‍යාසයක නිරත විය. “Strong Impact 2026” ලෙස නම් කර ඇති මෙම අභ්‍යාසය පෘතුගාලයේ සැන්ටා මාගරීඩා (Santa Margarida) හමුදා කඳවුරේදී පසුගිය දින කිහිපය පුරා පැවැත්වුණු අතර එය ඊයේ (2026 මාර්තු 25) නිල වශයෙන් අවසන් විය. මෙහිදී විශේෂයෙන්ම “මරාගෙන මැරෙන ඩ්‍රෝන” හෙවත් “සක්මන් උණ්ඩ” (Loitering Munitions) කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම ප්‍රහාරක ඩ්‍රෝන පෘතුගාලයේ ‘UAVision’ සමාගම සහ එරට හමුදාව එක්ව දේශීයව සංවර්ධනය කර ඇති අතර, ඒවා සාමාන්‍ය මිසයිල මෙන් නොව ඉලක්කයක් හඳුනා ගන්නා තෙක් අදාළ ප්‍රදේශය මත පියාසර කරමින් සිටීමට (Loitering) සමත් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්‍රහාරය එල්ල කරන අවස්ථාව දක්වාම සෘජු දර්ශන නැරඹීමට මෙහෙයවන්නාට හැකියාව ලැබීමයි. එමගින් ප්‍රහාරයේ නිරවද්‍යතාව ඉහළ යන අතර අනවශ්‍ය හානි (Collateral Damage) අවම කර ගැනීමට ද අවස්ථාව හිමි වේ.
පෘතුගාල හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් හෙල්ඩර් පාර්සෙලාස් (Hélder Parcelas) මහතා පවසන පරිදි, මෙම ඩ්‍රෝන මගින් “පළමුව සොයන්න – පසුව පහර දෙන්න” (Search-then-strike) යන සංකල්පය ක්‍රියාත්මක වේ. යුද පිටියේ පවතින තත්ත්වය අනුව ප්‍රහාරය අතරමග නැවැත්වීමට හෝ වෙනත් ඉලක්කයක් වෙත යොමු කිරීමට ඇති හැකියාව මෙහි ඇති ප්‍රධාන වාසියකි. නේටෝ සංවිධානයේ අනෙකුත් ප්‍රබල හමුදාවන් සමඟ සමගාමීව නවීන තාක්ෂණය වැළඳ ගැනීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














