ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක නිල හමුව එළඹෙන මැයි 14 සහ 15 යන දිනවලදී චීනයේදී පැවැත්වෙන බව ජනාධිපති ට්‍රම්ප් තහවුරු කර තිබේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ ඇතිවූ යුදමය වාතාවරණය හේතුවෙන් මීට පෙර මාර්තු 31 වනදා පැවැත්වීමට තිබූ මෙම සංචාරය කල් දැමීමට සිදු විය. වසර 10කට පමණ පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් (Karoline Leavitt) මහත්මිය ප්‍රකාශ කළේ, පවතින යුද මෙහෙයුම් හමුවේ ජනාධිපතිවරයාට සිය රට තුළ රැඳී සිටීමේ අවශ්‍යතාවය චීන ජනාධිපතිවරයා පිළිගත් බවයි. මෙම ඓතිහාසික සංචාරයට අමතරව, චීන ජනාධිපතිවරයා ද මෙම වසරේ අගභාගයේදී වොෂින්ටන් නුවර සංචාරය කිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා සඳහන් කර ඇත. කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍යාංශය මේ දක්වා මෙම දින වකවානු සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
පසුගිය මාසයේදී ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට පියවර ගත්තේය. ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමට අතිශය වැදගත් මෙම මුහුදු මාර්ගය අවහිර වීම නිසා මේ වන විට ලෝකය පුරා දරුණු ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙවන් පසුබිමක ලොව ප්‍රබලතම රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවීම ගෝලීය දේශපාලනයේ සහ ආර්ථිකයේ ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














