ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥවරියක මෙන්ම ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකාවක ද වන එලේනා පැනරිට්ස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී රටවල් කිහිපයක ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය හා සංවර්ධන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇය සතු පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් දිගුකාලීන තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහාත් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කර ඇති අතර විදේශීය ආයෝජන දිනා ගැනීමට සහ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත. ගෝලීය වශයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ සාර්ථක වූ රටවල් අනුගමනය කළ උපායමාර්ග පිළිබඳව ද එලේනා පැනරිට්ස් මහත්මිය විපක්ෂ නායකවරයා දැනුවත් කළ බව වාර්තා වේ.














