යුක්රේන යුද්ධයේදී රුසියාව භාවිතා කළ නවීන ඩ්‍රෝන තාක්ෂණික උපක්‍රම, ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් දැන් ඇමරිකානු හමුදාවන්ට එරෙහිව භාවිතා කරමින් සිටින බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (WSJ) පුවත්පත වාර්තා කරයි. පසුගිය සතියේ බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට සහ හමුදා කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවල දර්ශන මගින් පෙනී යන්නේ, ඉරානය විසින් ඉතා දියුණු ඩ්‍රෝන තාක්ෂණයක් අත්හදා බලමින් සිටින බවයි.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ “ෆයිබර් ඔප්ටික්” (Fiber-optic) රැහැන් මගින් පාලනය වන ඩ්‍රෝන භාවිතා කිරීමයි. මෙම තාක්ෂණය නිසා ඇමරිකානු හමුදාවන් සතු ඩ්‍රෝන මර්දන සංඥා අවහිර කිරීමේ පද්ධති (Jamming) සම්පූර්ණයෙන්ම අක්‍රිය වන අතර, එම ඩ්‍රෝන ඉලක්කය වෙත සාර්ථකව මෙහෙයවීමට ඉරාන හිතවාදීන්ට හැකියාව ලැබේ. මීට අමතරව, “First-Person-View” (FPV) හෙවත් මෙහෙයවන්නාට සෘජුවම දර්ශන පෙනෙන ඩ්‍රෝන මගින් ඇමරිකානු කඳවුරුවලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සමත්ව ඇත.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් (Ground operation) නියම කළහොත්, මෙම ඩ්‍රෝන තාක්ෂණය යුද පිටියේ තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති. ඇමරිකානු හමුදාව ද මෙවැනි තාක්ෂණයන් වැළඳ ගැනීමට උත්සාහ කරමින් සිටින නමුත්, දැනටමත් යුද පිටියේ පවතින මෙම නව ප්‍රවණතා හමුවේ ඇමරිකානු සෙබළුන්ට දැඩි අභියෝග එල්ල විය හැකිය.














