2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ අයි. ජී. එස්. ප්‍රේමතිලක මහතාට අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම කරුණු විභාගයට ගැනුණි.
සිද්ධියේ පසුබිම:
2024 දෙසැම්බර් 31 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් රහස්‍යභාවය කඩ කරමින් ප්‍රශ්න තුනක් පිට කිරීමට සහාය වීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ප්‍රේමතිලක මහතාට චෝදනා එල්ල විය. එහිදී රුපියල් මිලියන 3ක වන්දියක් සති හතරක් ඇතුළත රජයට ගෙවන ලෙස ඔහුට නියෝග කර තිබුණද, එම නියෝගය මෙතෙක් ඉටු නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා ඇත. මෙම සිද්ධියට අදාළව අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට ද රුපියල් මිලියන 2ක වන්දියක් ගෙවීමට මීට පෙර නියෝග කර තිබුණි.














