ශ්‍රී ලංකාවේ අධිකරණ පරිශ්‍රයන්හි වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබූ නඩු භාණ්ඩ කඩිනමින් අපහරණය කිරීමේ (Disposal) විශේෂ ව්‍යාපෘතිය හරහා 2025 වසරේදී පමණක් රුපියල් 952,896,911.74 ක සුවිශේෂී ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරන අතර පිටපත් ගාස්තු, නොතාරිස් ගාස්තු, දඩ මුදල්, මුද්දර ගාස්තු සහ ඇප බැඳුම්කර රාජසන්තක කිරීම් ඇතුළු අනෙකුත් අධිකරණ ආදායම් මාර්ග ද එකතු වූ විට සමස්ත ආදායම රුපියල් බිලියන 6.5ක් ඉක්මවා ගොස් තිබේ. දශක ගණනාවක් තිස්සේ මෙරට මහේස්ත්‍රාත් සහ මහාධිකරණ පරිශ්‍රයන්හි පොලිසිය සහ රජයේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් වාහන, දැව කඳන්, වැලි, කෘෂිකාර්මික උපකරණ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පවා විශාල වශයෙන් ගොඩගැසී තිබූ අතර මේවා නිසා අධිකරණ පද්ධතියේ ඉඩකඩ සීමා වී වටිනා වාහන විනාශ වීමෙන් විශාල ආර්ථික හානියක් ද සිදු විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ මූලිකත්වයෙන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ජනාධිපතිවරයා හඳුන්වා දුන් “පිරිසිදු ශ්‍රී ලංකා” (Clean Sri Lanka) සංකල්පය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණ පරිශ්‍රයන්හි තිබූ අවහිරතා ඉවත් වී ඒවා වඩාත් ක්‍රමවත් සහ අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය වී ඇත. පරිසර හිතකාමී ලෙස නඩු භාණ්ඩ කළමනාකරණය කිරීම හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු වී ඇති අතර වසර ගණනාවක් අක්‍රියව පැවති වත්කම් මූල්‍යමය වශයෙන් රජයට දායක කර ගැනීමට හැකි වීම සුවිශේෂී ජයග්‍රහණයක් බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.













