ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තුවක් අය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සකස් කරමින් පවතින බව ඊයේ (2026 මාර්තු 26) වාර්තා විය. “ආරක්ෂාව සහ අධීක්ෂණය සැපයීම” වෙනුවෙන් මෙම ගාස්තුව අය කරන බව ඉරානය පවසන අතර, මෙමගින් එම මුහුදු මාර්ගය හරහා ඉරානය සතු ස්වෛරීභාවය සහ පාලනය නීත්‍යානුකූලව තහවුරු කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.
නවතම තොරතුරුවලට අනුව, මෙම පනත් කෙටුම්පත එළඹෙන සතියේදී අවසන් කිරීමට නියමිතය. දැනටමත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ඇතැම් නෞකාවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දක්වා වූ අවධිමත් ගාස්තු අය කරන බවට ජාත්‍යන්තර නැව් උපදේශක ආයතන චෝදනා කර ඇති අතර, එම ගෙවීම් බොහෝමයක් චීන ‘යුවාන්’ (Yuan) මුදලින් සිදු කරන ලෙස දැනුම් දී ඇති බව ද සඳහන් වේ. මෙම ගාස්තු ක්‍රමය හරහා ඉරානයට විශාල ආදායමක් උපයා ගැනීමට මෙන්ම, තමන්ට හිතවත් සහ සතුරු රටවල් වෙන් කර හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම පියවරට සිය විරෝධය පළ කර තිබේ. ජාත්‍යන්තර නීතියට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් බැවින් එහි ගමන් ගන්නා නැව්වලින් ගාස්තු අය කිරීම නීති විරෝධී බව ඉන්දීය නාවික අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද අනතුරු අඟවා ඇත්තේ මෙම මුහුදු මාර්ගය අවහිර වීම හෝ මෙලෙස බාධා එල්ල වීම නිසා ලෝකයේ තෙල්, ගෑස් සහ පොහොර සැපයුමට දරුණු බලපෑමක් එල්ල වී ඇති බවයි.












