ඉරාන යුද්ධය සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් නිකුත් කරන පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් අද (2026 මාර්තු 26) පෙරවරුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වූ එකඟතාවයකට එළඹීමට ආසන්න බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඉරානය විසින් ඇමරිකාවේ කරුණු 15කින් යුත් සාම සැලසුම ප්‍රතික්ෂේප කිරීම ආයෝජකයින් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබේ. මෙම අවිශ්චිතතාවය හමුවේ ආසියානු වෙළඳපොළවල් පහත වැටුණු අතර, යුරෝපා කොටස් වෙළඳපොළවල් ද අද දිනය ආරම්භ කළේ සැලකිය යුතු පසුබෑමක් සහිතවය. ඒ අනුව ලන්ඩන් FTSE දර්ශකය 0.8%කින් ද, ෆ්‍රැන්ක්ෆර්ට් DAX දර්ශකය 1.2%කින් ද පහත වැටී ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට සහ එම මුහුදු සීමාවේ පාලනය තහවුරු කිරීමට ඉරානය දරන උත්සාහය ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති ප්‍රබල තර්ජනයකි. මැදපෙරදිග කලාපයට තවදුරටත් ඇමරිකානු හමුදා භට පිරිස් දහස් ගණනින් ළඟා වෙමින් පවතින පසුබිමක, ලෝක ආර්ථිකයේ අනාගතය තවමත් අවිනිශ්චිත මට්ටමක පවතින බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති.











