ලොව සුපතල ‘The Three Musketeers’ කතාවේ ප්‍රධාන චරිතය සඳහා පාදක වූ සැබෑ ඓතිහාසික පුද්ගලයා වන චාල්ස් ඩි බැට්ස් (Charles de Batz) හෙවත් ඩාටන්යන් ප්‍රභූවරයාගේ යැයි සැලකෙන අස්ථි කොටස් නෙදර්ලන්තයේ මාස්ට්‍රිච් (Maastricht) නුවර පල්ලියක් යට තිබී හමු වී තිබේ. ප්‍රංශයේ 14 වන ලුවී රජුගේ සමීපතම සගයෙකු වූ ඔහු 1673 වසරේදී මාස්ට්‍රිච් වටලෑමේදී මියගිය අතර ඔහුගේ සිරුර මෙතෙක් සොයාගෙන නොතිබුණි.
මාස්ට්‍රිච්හි ශාන්ත පීතර සහ පාවුළු දේවස්ථානයේ (St Peter and Paul Church) අල්තාරය තිබූ ස්ථානයට යටින් මෙම ඇටසැකිල්ල හමු වී ඇති අතර එය ඩාටන්යන්ගේම බවට 99%ක විශ්වාසයක් පවතින බව දේවස්ථානයේ උපදෙවගැති ජොස් වෝක් (Jos Valke) පවසයි. මෙම සොයාගැනීම සනාථ කරන ප්‍රධාන සාධක කිහිපයක් එහිදී හමු වී ඇත. එනම් ඩාටන්යන්ගේ ගෙල ප්‍රදේශයට වැදී මරණයට හේතු වූ බව පැවසෙන මුස්කෙට් උණ්ඩය (Musket ball) ඇටසැකිල්ල සමඟ හමු වීම සහ 1660 වර්ෂයට අයත් බිෂොප්වරයෙකුගේ කාසියක් ද සොහොන තුළ තිබී හමු වීමයි. එසේම ඔහු වළ දමා ඇති බවට වසර 28ක් පුරා පර්යේෂකයන් සැක කළ ස්ථානයෙන්ම මෙය හමු වී තිබේ.
කෙසේ වෙතත් පුරාවිද්‍යාඥ විම් ඩිජ්ක්මන් (Wim Dijkman) පවසන්නේ විද්‍යාත්මකව මෙය තහවුරු කර ගැනීම සඳහා ජර්මනියේදී සිදුකෙරෙන DNA පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් බලා සිටිය යුතු බවයි. ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ සුප්‍රකට නවකතාවලින් අමරණීය වූ මෙම සැබෑ වීරයාගේ සොහොන සොයා ගැනීම ලෝක ඉතිහාසයේ සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












