මිනිසා සහ බල්ලා අතර පවතින සබඳතාවයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම අලුතින් ලිවීමට සමර්සෙට් (Somerset) හි චෙඩර් ගෝර්ජ් (Cheddar Gorge) ගුහාවකින් හමුවූ කුඩා හනුවක අස්ථි කොටසක් සමත් වී තිබේ. DNA විශ්ලේෂණයන්ට අනුව මෙම අස්ථි කොටස මීට වසර 15,000කට පෙර බ්‍රිතාන්‍යයේ විසූ හීලෑ කරන ලද බල්ලෙකුට අයත් බව ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Natural History Museum) ආචාර්ය විලියම් මාර්ෂ් (Dr William Marsh) ඇතුළු පර්යේෂක කණ්ඩායම අද (2026 මාර්තු 26) නිවේදනය කළහ.
මෙම සොයාගැනීමත් සමඟ බල්ලන් සිය වෘක මුතුන්මිත්තන්ගෙන් පරිණාමය වී මිනිසා සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගත් කාලය තවත් වසර 5,000කින් පමණ ඈතට ගමන් කරයි. එනම් ගවයන් හෝ බළලුන් වැනි සතුන් මිනිසාට හුරු වීමට බොහෝ කලකට පෙර සිටම බල්ලා මිනිසාගේ සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලි වේ. හිම යුගය අවසානයේ මිනිස් කඳවුරු අසල ගැවසෙමින් ඉතිරි වූ ආහාර අනුභව කළ අළු වෘකයන් කාලයත් සමඟ දඩයම් කිරීමට, ආරක්ෂාව සැපයීමට සහ මඟ සලකුණු හඳුනා ගැනීමට මිනිසාට උදව් කර ඇති බවත්, පසුව පරම්පරා ගණනාවක් පුරා සිදු වූ අභිජනනය හරහා විවිධ ප්‍රමාණයේ සහ හැඩයේ බල්ලන් බිහි වූ බවත් විද්‍යාඥයෝ පවසති.
මෙම අඟල් 9ක් පමණ දිග අස්ථි කොටස 1920 දශකයේදී ගුහාවකින් හමුවී කෞතුකාගාර ලාච්චුවක දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූවකි. ආචාර්ය මාර්ෂ් සිය ආචාර්ය උපාධි ව්‍යාපෘතිය අතරතුර අහම්බෙන් මෙය පරීක්ෂාවට ලක් කළ අතර, එහි ජානමය සැකසුම පරීක්ෂා කිරීමේදී එය වෘකයෙකුගේ නොව නිසැකවම බල්ලෙකුගේ බව තහවුරු විය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ LMU මියුනිච් හි ආචාර්ය ලැචී ස්කාර්ස්බෲක් (Dr Lachie Scarsbrook) සඳහන් කරන්නේ මෙය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව පවතින මතය වෙනස් කරන අතිශය වැදගත් සොයාගැනීමක් බවයි.












