2025 වසරේ ස්කොට්ලන්තයේදී එළඹුණු ‘ටර්න්බෙරි ගිවිසුම’ (Turnberry agreement) ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (2026 මාර්තු 26) හිමි විය. ඇමරිකානු කාර්මික භාණ්ඩ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම අරමුණු කරගත් මෙම ගිවිසුමට පක්ෂව ඡන්ද 417ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 154ක් පමණි.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනාගතයේදී පැනවිය හැකි අත්තනෝමතික බදු පියවරයන්ගෙන් යුරෝපීය වෙළඳපොළ ආරක්ෂා කරගැනීම සඳහා යුරෝපා මන්ත්‍රීවරුන් විසින් දැඩි කොන්දේසි කිහිපයක් මෙම ගිවිසුමට ඇතුළත් කර ඇත. එම කොන්දේසි අතර දෙපාර්ශවයේම එකඟතාවයකින් තොරව 2028 මාර්තු මාසයේදී මෙම ගිවිසුම ඉබේම අවලංගු වීමේ ‘හිරු බැසීමේ වගන්තිය’ (Sunset clause) සහ ඇමරිකාව සිය පොරොන්දු නිසි ලෙස ඉටු කරන්නේ නම් පමණක් යුරෝපය බදු සහන ලබා දීමේ ‘හිරු උදාවීමේ වගන්තිය’ (Sunrise clause) ප්‍රධාන වේ. මීට අමතරව වානේ සහ ඇලුමිනියම් සඳහා ලබා දෙන බදු සහන ඇමරිකාව ලබා දෙන සහනවලට සමාන විය යුතු බවට ද කොන්දේසි පනවා ඇත.
ග්‍රීන්ලන්තය (Greenland) සම්බන්ධයෙන් පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවය සහ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පැනවූ බදු අවලංගු කිරීමෙන් පසු වයිට් හවුස් පාලනය විසින් නැවතත් බදු පැනවීම නිසා මෙම ගිවිසුම අනුමත කිරීම මීට පෙර ප්‍රමාද වී තිබුණි. යුරෝපා මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ මෙය පරිපූර්ණ ගිවිසුමක් නොවුවද පවතින තත්ත්වය හමුවේ ගත හැකි හොඳම පියවර මෙය බවයි.












