රටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස පවසමින් “වොෂින් මැෂින් පාඩම්” ඉගැන්වීමට පෙර, ලක්විජය බලාගාරයට බාල ගල් අගුරු ගෙන්වීම නතර කර විදුලි උත්පාදනය විධිමත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට බලකර සිටියි. සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත්, රෙදි සේදීමේදී දින කිහිපයක ඇඳුම් එකතු කර සෝදන ලෙසත් පවසමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ජනතාවට විකාර සහගත යෝජනා ඉදිරිපත් කරන බව විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. බාල ගල් අගුරු භාවිතය නිසා පසුගිය 23 සහ 24 යන දිනවල පමණක් මෙගාවොට් 300කට අධික විදුලි ධාරිතාවක් පද්ධතියට අහිමි වී ඇති බවත්, එමඟින් ඉන්ධන බලාගාර මාෆියාව ශක්තිමත් කරමින් පාරිභෝගිකයා මත අධික පිරිවැයක් පටවන බවත් ඔහු පෙන්වා දෙයි.
ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් රජය පොරොන්දු වූ පරිදි බදු ඉවත් කර සහන ලබා නොදීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය. වරායේ ගොඩබෑමේ මිලට කොමිස් මුදල් සහ බදු ඉවත් කර සහන ලබාදීමට රජය මැලි වන්නේ මන්දැයි ඔහු විමසා සිටියි. සහන ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ලබාදීමට ඉරාන තානාපතිවරයා විවෘතව කැමැත්ත පළ කර තිබියදීත් රජය එම අවස්ථාව මගහරිමින් සිටින බව ඔහු අනාවරණය කළේය. රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට තිබූ අවස්ථාව ද රජයේ කල්මැරීම නිසා අහිමි වූ බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ජනතාව කබලෙන් ලිපට වට්ටවන තෙල් මාෆියාවට යටත් නොවී වහාම ඉරාන යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.














