ගල්ගමුව විවිධ සේවා සමුපකාර සංගමයේ මංගල මහා සභා රැස්වීම පසුගිය 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, එය දේශපාලන බලපෑම් මත දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි. මෑතකදී පැවැති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයන් 58 දෙනෙකු ජයග්‍රහණය කරවමින් බහුතර බලය හිමිකරගෙන ඇති අතර, ජාතික ජන බලවේගය නියෝජිතයන් 42 දෙනෙකු ජයග්‍රහණය කර තිබේ. වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් රැස්වීම පැවැත්වෙන බවට ලිඛිතව දන්වා තිබියදීත්, රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ දිනට පෙර දින පස්වරුවේ හදිසියේම එය කල් දමා ඇති බව වාර්තා වේ.
රැස්වීම් ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ නිවේදනවල දැක්වුණේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නියෝජිතයන් කිහිපදෙනෙකුට පැමිණීමට නොහැකි බව දැනුම් දීම නිසා කොමසාරිස්වරයා විසින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, එදින ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් 58 දෙනාම සභාවට පැමිණ සිටි අතර ජාතික ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු පැමිණ සිටියේ නැත. මීට අමතරව සමුපකාර සංගමයේ ලේකම්වරයා ද එදින අසනීප නිවාඩු වාර්තා කර තිබීම විශේෂත්වයකි. මෙම තත්ත්වය හමුවේ තමන් සතු බහුතර බලය යටපත් කිරීමට රජය නිලධාරීන් ලවා මෙලෙස කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරති.














