මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී සැබෑ මිතුරෙකු ලෙස සහය වීමට රුසියාව සූදානම් බව ප්‍රකාශ කර තිබේ. දැනට මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඊයේ (මාර්තු 26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම සහතිකය ලබා දී ඇත.
බලශක්ති ක්ෂේත්‍රය පමණක් නොව, තාක්ෂණික උපදෙස්, යන්ත්‍රෝපකරණ සැපයීම ඇතුළු ඕනෑම අංශයකින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දීමට රුසියානු රජය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම නිල හමුවට පෙර රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කුමාර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟ ද විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. එහිදී පිරිපහදු කළ රුසියානු ඉන්ධන මෙරටට ලබාදීමට ඔහු එකඟත්වය පළ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.
ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ මෙවැනි ජාත්‍යන්තර සහයෝගිතාවන් මෙරට බලශක්ති සුරක්ෂිතතාවයට සහ ආර්ථික ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි විදේශ කටයුතු පිළිබඳ විචාරකයෝ මත පළ කරති.
















