ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් 10කට ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ පැවති හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ මෙය දෙරට අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා ඉරානය දැක්වූ ඉතා යහපත් ප්‍රතිචාරයක් බවයි. මෙම තීරණය තමන් වෙත ලැබුණු “විශාල තෑග්ගක්” ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා, ඉරානයේ මෙම පියවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කර සිටියේය.
මුලින් තෙල් නැව් 08කට පමණක් අවසර ලබා දීමට ඉරානය සූදානම්ව සිටියද, අවසානයේදී නැව් 10ක් සඳහා අවසර ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම නැව් පාකිස්තානු ධජය යටතේ යාත්‍රා කළ ඒවා විය හැකි බවට ජනාධිපතිවරයා සැක පළ කළත්, ඒ පිළිබඳ නිල තොරතුරු ධවල මන්දිරය විසින් මෙතෙක් අනාවරණය කර නැත. කලාපීය බලශක්ති ආරක්ෂාව සහ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් මෙම තීරණය ඉතා වැදගත් බලපෑමක් ඇති කරනු ඇතැයි විදෙස් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
















