ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යාල තුනක් ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී ජාති හෝ වර්ගය (Race) පදනම් කර ගනිමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව එරට අධිකරණ දෙපාර්තමේන්තුව (Justice Department) විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (Stanford), ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය (Ohio State) සහ සැන් ඩියාගෝ හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය (UC San Diego) යන ආයතන මෙලෙස පරීක්ෂාවට ලක් කෙරේ.
යුක්ති දෙපාර්තමේන්තුවේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සහකාර නීතිපති හර්මීට් දිලෝන් (Harmeet Dhillon) මහත්මිය විසින් මෙම පරීක්ෂණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. 2023 වසරේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී “Affirmative Action” හෙවත් වර්ගය මත පදනම් වූ විශේෂ සැලකිලි දැක්වීම තහනම් කළද, ඇතැම් ආයතන වක්‍ර ආකාරයෙන් තවමත් එම ක්‍රමය අනුගමනය කරන්නේද යන්න මෙහිදී සොයා බැලේ.
පරීක්ෂණ යටතේ අදාළ විශ්වවිද්‍යාලවලින් පසුගිය වසර කිහිපයක ප්‍රවේශ දත්ත, ශිෂ්‍යයන්ගේ ලකුණු සහ අයදුම්පත් ඇගයීමේදී භාවිතා කළ ලිපි ලේඛන අප්‍රේල් 24 වැනිදාට පෙර ලබා දෙන ලෙස නියෝග කර ඇත. මෙම නියෝගය උල්ලංඝනය කළහොත් එම විශ්වවිද්‍යාලවලට ලැබෙන ෆෙඩරල් ප්‍රතිපාදන (Federal Funding) අහිමි වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ලිබරල් බලපෑම් ඉවත් කර සැමට සාධාරණ අවස්ථාවන් තහවුරු කළ යුතු බවයි.















