ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තීව්‍ර වෙමින් පවතින පසුබිමක වුවද, අතිරේක ගොඩබිම් භට පිරිස් 10,000ක් දක්වා මැදපෙරදිග කලාපය වෙත යැවීමට ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සලකා බලමින් සිටින බව අද (2026 මාර්තු 27) පෙරවරුවේ වාර්තා විය. ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පතට අනුව, සාම සාකච්ඡාවලට සමගාමීව මෙම යුදමය සූදානම ද ක්‍රියාත්මක වෙමින් පවතී.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාර තාවකාලිකව නතර කර ඇති අතර, ඒ සඳහා ලබා දී තිබූ අවසන් නිවේදනය (Deadline) අප්‍රේල් 06 වැනිදා දක්වා තවත් දින 10කින් දීර්ඝ කර තිබේ. මැදිහත්කරුවන් පවසන්නේ ඉරානය විසින් අමතර කාලයක් ඉල්ලා නොසිටි බව වුවද, ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මෙම සහන කාලය ලබා දුන්නේ ටෙහෙරානයේ ඉල්ලීම පරිදි බවයි.
සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් ලෙස ඉරානය විසින් පාකිස්තාන ධජය යටතේ යාත්‍රා කළ තෙල් නැව් කිහිපයකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට අවසර ලබා දී ඇත. මෙය ඇමෙරිකාවට ලැබුණු “තෑග්ගක්” ලෙස හඳුන්වා දුන් ට්‍රම්ප්, ඉරාන නායකත්වය සාකච්ඡා පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවන බවට මෙය සංඥාවක් බව ද පවසා තිබේ.















