ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්කාරී වාතාවරණය මධ්‍යයේ, සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ඉරානය විසින් තෙල් නැව් 10කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඊයේ (2026 මාර්තු 26) පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුවකදී ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ මෙය ඉරානයෙන් ඇමෙරිකාවට ලැබුණු “විශේෂ තෑග්ගක්” (Present) ලෙස හඳුන්වමිනි.
ඉරානය සමඟ ඉතා වැදගත් මට්ටමේ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත්, තමන් පවසන දේ පිළිබඳව ඉරානය දැඩි විශ්වාසයකින් පසුවන බව පෙන්වීමට ඔවුන් මෙම පියවර ගෙන ඇති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය. පාකිස්තාන ධජය යටතේ යාත්‍රා කළ මෙම දැවැන්ත තෙල් නැව් (Big boats of oil) සඳහා අවසර දීම හරහා ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී තිබූ බාධාවන් යම් මට්ටමකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඇමෙරිකාව ලබා දී තිබූ අවසන් නිවේදනය ද තවත් දින 10කින් දීර්ඝ කිරීමට ට්‍රම්ප් පියවර ගෙන ඇති අතර, මෙම කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳුමක් ලබා ගැනීමට දෙපාර්ශ්වයම උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.















