මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට ගෙවිය යුතුව තිබූ රුපියල් 1,035,473,988ක (බිලියන එකකට අධික) වැට් බදු මුදල් සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ. මෙම හිඟ බදු මුදල් රජයට යළි ගෙවා නිම කරන්නේද නැද්ද යන්න පිළිබඳව ජූනි මස 25 වැනි දින අධිකරණයට දැනුම් දිය යුතු බව එම නියෝගයේ සඳහන් වේ.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරනු ලැබූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ජෝසප් ඇලෝසියස් සහ රන්දෙව් දිනේෂ් ජෝෂප් යන අධ්‍යක්ෂවරුන් නම් කර ඇත. ඊයේ (26) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ මහාධිකරණයේ පවතින වෙනත් නඩු කටයුත්තක් හේතුවෙන් ඔවුන්ට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ අනුව, මීළඟ නඩු වාරයේදී අදාළ බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන ලෙස අධිකරණය විත්ති පාර්ශවයට දැනුම් දුන්නේය.














