ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මාර්කපුරම් (Markapuram) දිස්ත්‍රික්කයේදී පෞද්ගලික බස් රථයක් සහ වේගයෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ (2026 මාර්තු 26) පෙරවරු 6:00ට පමණ රායවරම් (Rayavaram) ගම්මානය අසලදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
තෙලංගානා ප්‍රාන්තයේ සිට නෙල්ලෝර් (Nellore) දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ සුක්කානම (Steering) හදිසියේ සිරවීම හේතුවෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වීම මෙම අනතුරට හේතු වී ඇත. රථ දෙක එකිනෙක ගැටුණු සැනින් බස් රථයේ ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ගින්නක් හටගෙන ඇති අතර, විනාඩි කිහිපයක් ඇතුළත වාහන දෙකම සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර, තුවාල ලැබූවන් වහාම අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර තිබේ. ඇතැම් මගීන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.














