ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් (Indore) නගරයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 38 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරියක, පෙන්ට්හවුස් (Penthouse) ඒකකයක් කුලියට දීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෝටර් රථයකට යටකර ඝාතනය කර තිබේ. ෂම්පා පතක් පාණ්ඩේ (Shampa Pathak Pandey) නැමති මෙම ඉංජිනේරුවරිය ලොව ප්‍රකට ඉන්ෆොසිස් ආයතනයේ සේවය කළ තැනැත්තියකි.
පසුගිය බදාදා (2026 මාර්තු 25) රාත්‍රියේ සිදුවූ මෙම පුවත ඊයේ (2026 මාර්තු 26) මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. පෙන්ට්හවුස් හිමිකරු සිය නිවස Airbnb හරහා කුලියට දීම සම්බන්ධයෙන් නිවැසියන් විරෝධය පෑම මෙම ගැටුමට මුල් වී ඇත. එහිදී පෙන්ට්හවුස් හිමිකරුගේ පුත්‍රයා වන මෝහිත් චෞද්රි (Mohit Chaudhary) විසින් සිය මෝටර් රථය වේගයෙන් පදවාගෙන විත් ෂම්පා සහ ඇයගේ නිවසේ සේවකයෙකු යටකර ඇති අතර, බෝම්බේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් තිබේ.
මෙම සිදුවීම දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති අතර, සැකකාර මෝහිත් චෞද්රි සහ ඔහුගේ පියා වන කුල්දීප් චෞද්රි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිවාස සංකීර්ණවල ආරක්ෂාව සහ අමුත්තන් පැමිණීම සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














