නීතිවිරෝධී ලෙස පෙට්‍රල් ලීටර් හතරක් සන්තකයේ තබාගත් බවට වරදකරු වූ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකුට නිකවැරටිය මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා විසින් දින 21ක සිරදඬුවමක් සහ රුපියල් 1,500ක දඩයක් නියම කර තිබේ. බී. එම්. ලසන්ත කුමාර බාලසූරිය නැමැති මෙම සැකකරු කොබෙයිගනේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීම නිසා මෙම තීන්දුව ලබා දී ඇත.
විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග අතපත්තු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ පෙට්‍රල් තොගය ලබන 29 වැනිදාට යෙදී ඇති සැකකරුගේ දෙමව්පියන්ගේ මතක වස්ත්‍ර පූජාවට සමගාමීව වත්ත පිරිසිදු කිරීම සඳහා තණකොළ කපන යන්ත්‍රයකට යොදා ගැනීමට තබාගත් එකක් බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් විසින් නිකුත් කරන ලද ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. වලංගු ලේඛන සහිත වාහන හිමිකරුවෙකුට “පෙට්‍රල් පාරිභෝගිකයෙකු” ලෙස ඉන්ධන ළඟ තබා ගැනීමට නීතියෙන් අවසර ඇති නමුත්, ළඟ තබා ගත හැකි නිශ්චිත ප්‍රමාණය නීතියේ සඳහන් නොවීම පිළිබඳව ද නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන ගබඩා කිරීම සීමා කර ඇති අවස්ථාවක 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (සැපයුම් විධිමත් කිරීමේ සහ පාලනය කිරීමේ) පනත යටතේ කොබෙයිගනේ පොලිසිය විසින් මෙම නඩුව මෙහෙයවන ලදී.














