කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් ප්‍රමුඛ පෙළේ ඉස්ලාමීය විද්වතෙකු වන තාරික් රමදාන්ට පැරීසියේ අධිකරණයක් විසින් ඊයේ (2026 මාර්තු 26) වසර 18ක සිරදඬුවමක් නියම කරන ලදී. ස්විට්සර්ලන්තයේදී සිදුවූ වෙනත් දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට මීට පෙර සිරදඬුවම් නියම වී වසර දෙකකට පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වන 63 හැවිරිදි රමදාන් මෙම නඩු විභාගයට පෙනී නොසිටි අතර, ඔහු තමන්ට එල්ල වූ සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. ඔහු දැනට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ස්නායුගත රෝගයක් (Multiple sclerosis) සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කර තිබේ.
විනිසුරු කොරින් ගොට්ස්මන් (Corinne Goetzmann) විසින් රමදාන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති නමුත්, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය අතර උදර්පණ ගිවිසුමක් (Extradition treaty) නොමැති වීම නිසා ඔහුව ප්‍රංශයට ගෙන්වා ගැනීම අසීරු වනු ඇතැයි පැවසේ. වසර 9ක පමණ කාලයක් යුක්තිය පතා සටන් කළ වින්දිත කාන්තාවන් ප්‍රකාශ කළේ මෙම තීන්දුව හරහා සත්‍යය ජයගත් බවයි. මීට අමතරව රමදාන්ට ප්‍රංශයට ඇතුළුවීම ද ස්ථිරවම තහනම් කර ඇත.














