පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මෙම බිඳ වැටීම පිළිබඳව දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) නිල වශයෙන් දැනුම් දී තිබුණද, අද (27) උදෑසන වන විටත් විශාල පිරිසක් සේවාවන් ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි. නැවත දැනුම් දෙන තුරු සේවාවන් ක්‍රියාත්මක නොවන බව බලධාරීන් පවසා ඇති පසුබිමක, දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මෙසේ පැමිණි පිරිස් අතර පසුගිය අඟහරුවාදා සිටම සිය හැඳුනුම්පත් කටයුතු නිම කර ගැනීමට නොහැකි වූ පිරිස් මෙන්ම, පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සිය හැඳුනුම්පත් අහිමි වූ පාසල් දරුවන් ද විශාල වශයෙන් සිටිති. ලබන සඳුදා පැවැත්වීමට නියමිත පාසල් ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වීමට හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින්, එම සිසුන් සහ දෙමව්පියන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති. පද්ධතිය යථා තත්ත්වයට පත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, සේවාවන් නැවත ආරම්භ කරන දිනය පිළිබඳව මාධ්‍ය මඟින් දැනුවත් කරන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.














