බදාදා දිනවල උපකාරක පන්ති (Tuition Classes) පැවැත්වීම තහනම් කිරීමට රජය ගෙන ඇති බව කියන තීරණයත් සමඟ උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් දැඩි දෙගිඩියාවකට පත්ව තිබේ. “කොහොමද මෙහෙම තහනමක් පනවන්නේ?” යනුවෙන් ප්‍රශ්න කරමින් බොහෝ ගුරුවරුන් පවසා සිටින්නේ තම කාලසටහන් දැනටමත් සැලසුම් කර ඇති බැවින් මෙවැනි හදිසි තීරණයක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවයි.
මෙම තීරණය පිළිබඳව රජයේ පාර්ශවයෙන් ප්‍රකාශ වන්නේ, පාසල් සිසුන්ගේ අධ්‍යාපන පීඩනය අවම කිරීමට සහ ඔවුන්ට ක්‍රීඩා මෙන්ම අතිරේක බාහිර ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන්කර දීමේ අරමුණින් බදාදා දිනය “උපකාරක පන්තිවලින් තොර දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී ඇති බවයි. විශේෂයෙන්ම පස්වරු 2:00 න් පසුව උපකාරක පන්ති පැවැත්වීම සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත්, උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයේ අධ්‍යාපන කටයුතු සඳහා මෙලෙස සීමා පැනවීම මගින් විෂය නිර්දේශ ආවරණය කිරීමට බාධා පැමිණෙන බවයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ගැසට් නිවේදනයක් හෝ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් අතර මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා වෙමින් පවතී.














