පානම, කුඩුම්බිගල තපෝවනයට අයත් බඹරගස්තලාව ප්‍රදේශයේ ලෙනක් තුළ භාවනායෝගීව වැඩසිටි විදේශීය භික්ෂූන් වහන්සේ නමක කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්ව අපවත් වීමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. පරිසර සංරක්ෂණවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරන පරිදි මෙම අනතුර පසුගිය 25 වනදා රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර, අපවත් වී ඇත්තේ වයස අවුරුදු 43ක් වූ නන්ද නමැති චෙක් ජාතික හිමිනමකි.
උන්වහන්සේ මුලින්ම 2021 වසරේදී මෙරටට වැඩම කර කුඩුම්බිගල ආරණ්‍යයේ මාසයක පමණ කාලයක් ගතකර නැවත සිය රට බලා ගොස් තිබුණි. අනතුරුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී යළිත් ශ්‍රී ලංකාවට වැඩම කළ උන්වහන්සේ, වසරකට ආසන්න කාලයක සිට කුඩුම්බිගල සහ බඹරගස්තලාව අඩවියේ අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ හුදෙකලාව භාවනායෝගීව වැඩසිට ඇත.
වනජීවී නිලධාරීන් සහ පානම පොලිසිය පවසන්නේ වන සතුන් බහුල මෙම කලාපයේ රාත්‍රී කාලයේදී ලෙනක් තුළ වැඩසිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට උන්වහන්සේ මුහුණ දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, වනජීවී අංශ ද එම ප්‍රදේශයේ ආරක්ෂාව සහ සතුන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බලමින් සිටී.















