අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි. සැකකාර සෙබළුන් දෙදෙනා ඊයේ (26) දින අම්බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා මෙලෙස දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ සෙබළෙකු ද වන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔවුන් අදාළ ව්‍යාපාරිකයාට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කරමින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති අතර, පසුව පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් සිදුකළ මෙහෙයුමකදී කප්පම් මුදල ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට සංවිධානාත්මක අපරාධ කල්ලිවල සම්බන්ධතාවයක් පවතින්නේද යන්න සහ සැකකරුවන් මීට පෙර මෙවැනි අපරාධවලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය සහ විශේෂ විමර්ශන කණ්ඩායම් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. හමුදා විනය උල්ලංඝනය කරමින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව යුද හමුදා මට්ටමින් ද විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය අවධාරණය කර ඇත.















