ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ලබාගත් ඓතිහාසික තීරණයකට අනුව, ඉදිරි ඔලිම්පික් කාන්තා ඉසව් සඳහා ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවන්ට සහභාගී වීම තහනම් කර තිබේ. මෙම නව නීතිය 2028 වසරේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන බව ඊයේ (මාර්තු 26) නිල වශයෙන් නිවේදනය කෙරුණි.
“කාන්තා ක්‍රීඩා අංශය ආරක්ෂා කිරීමේ” (Protection of the Female Category) නව ප්‍රතිපත්තිය යටතේ ඕනෑම කාන්තා ඉසව්වක් සඳහා ඉදිරිපත් විය හැක්කේ ජෛව විද්‍යාත්මකව උපතින්ම කාන්තාවන් වූ ක්‍රීඩිකාවන්ට පමණි. මෙය තහවුරු කර ගැනීම සඳහා සෑම ක්‍රීඩිකාවකගේම වෘත්තීය ජීවිතය තුළ එක් වරක් සිදු කරනු ලබන අනිවාර්ය ජාන පරීක්ෂණයකට (Gene test) මුහුණ දීමට සිදු වනු ඇත.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී සහ පසුගිය සති කිහිපයකට පෙර නිමාවූ මිලානෝ-කෝටිනා (Milano-Cortina) ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී මතුවූ දැඩි මතභේද හමුවේ මෙම ප්‍රතිසංස්කරණ සිදු කර තිබේ. විශේෂයෙන්ම ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කෙලීෆ් (Imane Khelif) වැනි ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනා සහ ක්‍රීඩාවේ සාධාරණත්වය සුරැකීම පිළිබඳව වූ ඉල්ලීම් මෙයට මූලික වී ඇත.
මෙම නව රෙගුලාසි මගින් ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවන්ට අමතරව ඇතැම් දුර්ලභ වෛද්‍ය තත්ත්වයන් සහිත කාන්තාවන්ට ද කාන්තා අංශය යටතේ තරඟ කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.













