ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන ඉන්ධන කළු ජාවාරම වහාම මර්දනය කළ යුතු බවත්, ඒ සඳහා පොලිස්පතිවරයා නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ක්‍රියා කළ යුතු බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ජාවාරම්කරුවන්ට නොව සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවන්ට පමණක් බවයි.
විශේෂයෙන්ම කිසිදු පිරවුම්හලකින් QR කේත ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් නොකළ යුතු බවට ඔහු මෙහිදී දැඩි නියෝගයක් නිකුත් කළේය. පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය නිලධාරීන් ඉන්ධන අරපිරිමැස්ම පිළිබඳව නව කතිකාවතකට එළඹිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ආයතන සතු වාහන 92,000ක ප්‍රමාණය කළමනාකරණය කිරීම හරහා විශාල ඉන්ධන ඉතිරියක් කළ හැකි බව පෙන්වා දුන්නේය. වාහන දෙකක් යා යුතු ගමනක් සඳහා එක් වාහනයක් භාවිත කිරීම වැනි පියවර මගින් දිනකට ඉන්ධන ලීටර් 92,000ක් පමණ ඉතිරි කරගත හැකි බව ඔහු ගණන් බලා තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සෑම රාජ්‍ය ආයතනයකම වාහන භාවිතය අවම කරන ලෙසත්, ජාතික ජන බලවේගයේ රජය යටතේ රාජ්‍ය නිලධාරීන් වගකීම් සහගතව මෙම අරපිරිමැස්ම සඳහා දායක විය යුතු බවත් සුනිල් වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්ධන පෝලිම් සහ කළු කඩ වෙළඳාම අවසන් කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සිවිල් පරිපාලනය එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී නැවතත් අවධාරණය කෙරිණි.














