ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධය හමුවේ මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම අඩාල වීමත් සමඟ, ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුසියාව සමඟ පවතින සබඳතා යළිත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, යුක්රේන යුද්ධය ආරම්භයේ සිට නැවතී තිබූ රුසියානු ද්‍රව ස්වභාවික වායු (LNG) සෘජුවම මිලදී ගැනීම් යළි ආරම්භ කිරීමට දෙරට අතර සාකච්ඡා ආරම්භ වී ඇත.
පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු තීරුබදු සහන ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීම් තාවකාලිකව අඩු කළ ද, වර්තමාන ඉරාන අර්බුදය හමුවේ එම තීරණය වෙනස් කිරීමට ඉන්දියාවට සිදු වී තිබේ. ඒ අනුව ඉන්දියාවේ සමස්ත බොරතෙල් අවශ්‍යතාවයෙන් රුසියාවෙන් ලබාගන්නා ප්‍රමාණය 40%ක් දක්වා දෙගුණ කිරීමට ද සැලසුම් කර ඇත.
මෙම ගනුදෙනු බටහිර සම්බාධක උල්ලංඝනය කිරීමේ අවදානමක් පැවතියද, ඉන්දියාව මේ වන විටත් ඇමෙරිකාවෙන් සම්බාධක ලිහිල් කිරීමක් (Sanctions waiver) අපේක්ෂාවෙන් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් සිටී. වසර ගණනාවක් තිස්සේ රුසියාවෙන් බලශක්තිය ලබා නොගන්නා ලෙස ඇමෙරිකාව ඉන්දියාවට එල්ල කළ බලපෑම්, මෙම ඉරාන යුද වාතාවරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














